ශ්‍රී ලංකාවේ විද්‍යා සහ තාක්ෂණික ක්ෂේත්‍රය මහජනතාවට සමීප කරවීමේ අරමුණින් ක්‍රියාත්මක වන සුවිශේෂී ව්‍යාපෘතියක් වන ‘පුරවැසි විද්‍යා කෝෂය’ (Citizen Science Cell) ස්ථාපනය කිරීමේ සමාරම්භක උත්සවය අද දින අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන මෙරට විද්‍යාත්මක සන්නිවේදනය සහ නවෝත්පාදන ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත. විශේෂයෙන්ම රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබීම සුවිශේෂී වන අතර, එමඟින් විද්‍යාව සහ සාමාන්‍ය සමාජය අතර පවතින සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම නව වැඩපිළිවෙළ හරහා සාමාන්‍ය ජනතාව තුළ විද්‍යාව පිළිබඳ කුතුහලය සහ උනන්දුව වර්ධනය කිරීමටත්, තිරසර සංවර්ධනය උදෙසා පොදු වගකීමක් සහිත පුරවැසියන් පිරිසක් බිහිකිරීමටත් මග පෑදෙනු ඇත. දිවයින පුරා විහිදී ඇති විදාතා සම්පත් මධ්‍යස්ථාන ජාලය මූලික කරගනිමින් මෙම පුරවැසි විද්‍යා කෝෂය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ සඳහා විවිධ මූල්‍ය ආයතනවල දායකත්වය මෙන්ම විශ්වවිද්‍යාලවල තාක්ෂණික සහයෝගය ද හිමිවන අතර, පරිසර හා අධ්‍යාපන යන අමාත්‍යාංශවල පූර්ණ සහභාගිත්වය යටතේ මෙරට නවෝත්පාදන සංස්කෘතියක් ගොඩනැගීමට අවශ්‍ය පසුබිම මෙහිදී සකස් කෙරෙනු ඇත.














