මෙරට දූෂණ මර්දන ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නව මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය විවෘත කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ලබන 31 වනදා පෙරවරු 10:00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම පද්ධතිය නිල වශයෙන් ප්‍රකාශකයන් සඳහා විවෘත කිරීමට නියමිතය.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස සැලකෙන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම, මෙතෙක් සිදු කෙරුණේ මුද්‍රිත ආකෘති පත්‍ර අතින් සම්පූර්ණ කිරීම මගිනි. මෙම නව ඩිජිටල් පද්ධතිය හඳුන්වා දීම හුදෙක් පෝරමයක් අන්තර්ජාලය හරහා පිරවීමක් පමණක් නොව, සමස්ත ක්‍රියාවලියම පූර්ණ ඩිජිටල්කරණයකට ලක් කිරීමක් බව කොමිෂන් සභාව පෙන්වා දෙයි.
විශේෂයෙන්ම සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සහ අසාමාන්‍ය ලෙස වත්කම් රැස් කිරීමේ තත්ත්වයන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය සත්‍යායන පහසුකම් ද මෙම පද්ධතියට ඇතුළත් කර ඇත. දූෂණ විරෝධී පනත මගින් ඇති කළ ශක්තිමත් නීතිමය රාමුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික බලගැන්වීමක් ලෙස මෙය සැලකේ. මෙමගින් මෙරට දූෂණ මර්දන කටයුතුවලට නවීනත්වය, ස්වාධීනත්වය සහ ඉහළ කාර්යක්ෂමතාවයක් එක්වනු ඇතැයි ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.














