ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ වාර්තාගත විශාලතම ත්‍යාග මුදල වන රුපියල් මිලියන 620කට අධික චෙක්පත හෙට (10) ජයග්‍රාහකයා වෙත පිරිනැමීමට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත. 2026 පෙබරවාරි 19 වන දින පවත්වන ලද ‘ජයමල්ල කප්රුක’ ලොතරැයි දිනුම් ඇදීමේදී බිහි වූ මෙම දැවැන්ත ජයග්‍රහණයේ වටිනාකම රුපියල් 629,855,919.60 කි.
මෙම නිල චෙක්පත පිරිනැමීමේ උත්සවය හෙට සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ. මෙරට ලොතරැයි ක්ෂේත්‍රය තුළ පුද්ගලයෙකුට හිමි වූ වැඩිම ත්‍යාග මුදල මෙය වන අතර, එය මෙරට ලොතරැයි ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.














