පසුගිය කාලසීමාව තුළ මෙරටට ආනයනය කර ඇති ගල්අඟුරු බාල තත්ත්වයේ පවතින බවත්, එමගින් නොරොච්චෝල බලාගාරයේ විදුලි උත්පාදන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම බාල තත්ත්වයේ ගල්අඟුරු හේතුවෙන් නොරොච්චෝල බලාගාරයේ විදුලි නිෂ්පාදනය යම් මට්ටමකට පහත වැටී ඇති බවයි. ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩර් පටිපාටියේ ගැටලුවක් නොමැති වුවද, සැපයුම්කරු විසින් ලබා දී ඇති ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම මෙම ගැටලුවට හේතුව වී තිබේ.
කෙසේ වෙතත්, පෙර පැවති රජයන් මෙන් නොව, තම රජය යටතේ මෙවැනි අඩුපාඩු සිදුකරන සැපයුම්කරුවන්ට නිදහසේ සිටීමට ඉඩ නොදෙන බව අවධාරණය කළ ජනාධිපතිවරයා, අදාළ සැපයුම්කරුගෙන් දඩ මුදලක් අය කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇති බව ද වැඩිදුරටත් පැවසීය.














