ශ්‍රී ලංකාවේ මිලියන 4කට අධික දේශීය ගෑස් පාරිභෝගිකයන් සඳහා කිසිදු බාධාවකින් තොරව දියර පිරවුම් ගෑස් (LPG) ලබා දීමට පියවර ගෙන ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම අද (09) සහතික විය. පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි මාසිකව ගෑස් ආනයනය කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව එම සමාගම අවධාරණය කරයි.
ලිට්රෝ සමාගම සඳහන් කරන පරිදි, ඔවුන්ගේ ගෑස් තොග ස්විට්සර්ලන්තයේ ‘ජියෝගෑස්’ (Geogas) සමාගමෙන් ලබා ගන්නා අතර, එම තොග ඇමරිකා එක්සත් ජනපදයේ පෝල්ස්බෝරෝ (Paulsboro) වරායේ සිට ස්ථාපිත මුහුදු මාර්ග ඔස්සේ කොළඹ වරාය වෙත ප්‍රවාහනය කෙරේ. සැලසුම් සහගත කාලසටහනකට අනුව සෑම මසකම නෞකා මෙරටට ළඟා වන බැවින්, දිවයින පුරා පවතින ගෑස් ඉල්ලුම අඛණ්ඩව සපුරාලීමට හැකි බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














