පසුගිය වසර අගභාගයේදී මෙරටට දැඩි භෞතික හානියක් සිදුකළ ‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් බිඳ වැටුණු ප්‍රධාන දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට වේගවත්ව සිදුකෙරෙමින් පවතී. මෙම ස්වභාවික ව්‍යසනය නිසා දුම්රිය මාර්ග පද්ධතියට රුපියල් බිලියන 69කට ආසන්න හානියක් සිදුවූ අතර, ඉන් වැඩිම බලපෑමක් එල්ල වූයේ කොළඹ – බදුල්ල ප්‍රධාන දුම්රිය මාර්ගයටයි. එම මාර්ගයේ පමණක් ස්ථාන 223ක පස්කඳු නායයාම් සහ ගිලා බැසීම් වාර්තා වූ අතර, මේ හේතුවෙන් කොළඹ සිට කන්ද උඩරට බලා ධාවනය වන දුම්රිය දැනට රඹුක්කන දක්වා පමණක් සීමා කර තිබේ.
පසුගිය මාස හතරක කාලය තුළ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කැපවීම මත මාර්ගයේ කොටස් කිහිපයක් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුවද, රඹුක්කන සිට ඉහළ කෝට්ටේ දක්වා වූ කොටසේ තවමත් ස්ථාන 22ක පිළිසකර කිරීම් සිදුකෙරේ. විශේෂයෙන්ම කංසලගමුව ප්‍රදේශයේ අවහිර වී තිබූ විශාල පස්කඳු ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
මේ අතර, දැඩි ලෙස හානි වී තිබූ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අසල ප්‍රතිසංස්කරණ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සාර්ථකව අවසන් කර ඇත. කෙසේ වෙතත්, එම මාර්ග කොටසේ වැඩිම හානියක් වාර්තා වූ කඩිගමුව දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ වැඩකටයුතු තවමත් ක්‍රියාත්මක මට්ටමේ පවතී. මෙම කටයුතු කඩිනමින් අවසන් කර උඩරට මැණිකේ දුම්රියට සිය ගමනාන්තය දක්වා ධාවනය වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම බලධාරීන්ගේ අරමුණ වී තිබේ.














