මාලදිවයින් ජනාධිපතිවරයා ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත අතර, එයට සමගාමීව දෙරටේ ධීවර ක්ෂේත්රයේ නව ආයෝජන සහ සහයෝගීතාව පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වා තිබේ. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස්වරයා අතර පැවති මෙම හමුවේදී දෙරටේ ධීවර කර්මාන්තය ඒකාබද්ධ කරමින් නව ආර්ථික අවස්ථා උදාකර ගැනීම පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන්ම මාලදිවයිනේ නැවුම් මත්ස්‍ය සම්පත් සහ ශ්‍රී ලංකාවේ දියුණු ටින් කළ මාළු (Canned Fish) කර්මාන්තය එක් කරමින් නව නිෂ්පාදන ලෝක වෙළඳපොළට හඳුන්වා දීම මෙහි ප්‍රධාන අරමුණකි.
මෙහිදී තවත් සුවිශේෂී කරුණක් ලෙස සාකච්ඡා වූයේ, දැනට “Made in Sri Lanka” ලේබලය යටතේ ඩුබායි හරහා මාලදිවයිනට යන ශ්‍රී ලංකා නිෂ්පාදන, අතරමැදියන්ගෙන් තොරව සෘජුවම මාලදිවයිනට අපනයනය කිරීමේ ක්‍රමවේදයක් සැකසීමයි. මාලදිවයින් වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ අගය එකතු කළ මත්ස්‍ය නිෂ්පාදන නිපදවීම (Processing) කෙරෙහි ද දෙපාර්ශවයේම දැඩි උනන්දුව පළ වී ඇත. මෙම නව වැඩපිළිවෙළ හරහා දෙරටේම ධීවර කර්මාන්තයට සහ ආර්ථිකයට විශාල වාසි අත්වනු ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.














