විදේශගතව සිට මෙරට අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ බවට චෝදනා එල්ල වී සිටින කෝරලගමගේ මන්දුනු පද්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ තවත් දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) අධිකරණයට දැනුම් දුන්නේය. ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සැකකරු සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කරුණු ඉදිරිපත් කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බැවින් මෙම දීර්ඝ රැඳවුම් නියෝගය ලබාගත් බවයි. මෙරට ප්‍රධාන පෙළේ අපරාධ රැසකට සම්බන්ධ බවට සැක කෙරෙන මොහුගෙන් හෙළි කරගන්නා තොරතුරු මත තවත් තීරණාත්මක විමර්ශන රැසක් සිදු කිරීමට නියමිතව ඇත.














