මෙම වසරේ මැයි මාසය වන විට ශ්‍රී ලංකාව එල් නිනෝ (El Niño) සංසිද්ධියට මුහුණ දීමේ අවදානමක් පවතින බවත්, ඒ හේතුවෙන් දිවයින පුරා දැඩි උණුසුම් සහ වියළි කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බවත් දේශගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා අනතුරු අඟවයි. පැසිෆික් සාගරයේ මතුපිට ජලය අසාමාන්‍ය ලෙස උණුසුම් වීම පදනම් කරගත් මෙම දේශගුණික දර්ශකය 0.5 සීමාව ඉක්මවා ගියහොත්, මැයි මස මුලදී මෙම තත්ත්වය බලපෑ හැකි බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම එල් නිනෝ තත්ත්වය සක්‍රීය වුවහොත් එය මෙරටට වර්ෂාව රැගෙන එන නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයට බාධා කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසන පරිදි, වලාකුළු නිර්මාණය වීම අවම මට්ටමක පවතින බැවින් ශ්‍රී ලංකාව මේ වන විටත් වියළි කාලගුණයකට මුහුණ දෙමින් සිටී. එල් නිනෝ සංසිද්ධිය හේතුවෙන් මෙම වියළි කාලය තවදුරටත් දීර්ඝ විය හැකි අතර, ලබන ඔක්තෝබර් මාසය දක්වා දිවයිනට තද වැසි අපේක්ෂා කළ නොහැකි බව ඔහු අනාවැකි පළ කරයි. කෙසේ වෙතත්, අප්‍රේල් මස මැද භාගයේදී වාර්ෂිකව ඇතිවන සුළු වැසි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි වුවද, එය පවතින වියළි බව මැඩපැවැත්වීමට තරම් ප්‍රමාණවත් නොවන බව කාලගුණ අංශ පවසයි.
මේ අතර, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ ද මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් “තාප දර්ශකය” (Heat Index) අවදානම් මට්ටම දක්වා ඉහළ යා හැකි බවට ද අනතුරු අඟවා තිබේ. එල් නිනෝ යනු වසර 3ත් 5ත් අතර කාලයකදී ඇතිවන ස්වභාවික දේශගුණික රටාවක් වන අතර, එය ඕස්ට්‍රේලියාව සහ ගිනිකොනදිග ආසියානු කලාපයට දැඩි උණුසුම සහ නියඟය ගෙන එන අතරතුර ඇමෙරිකානු කලාපයට අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වයන් ඇති කිරීමට හේතු වේ.

















