පවතින ගෝලීය අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙරට වත්මන් තත්ත්වය පිළිබඳව වගකීම් සහගතව වාර්තා කරන ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍ය ආරියරත්න මහත්මිය ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවලින් සහ සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටියි. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය අවධාරණය කළේ රජය මාධ්‍යයෙන් ප්‍රශංසාව බලාපොරොත්තු නොවන බවත්, ඒ වෙනුවට නිවැරදි දත්ත මත පදනම් වූ සත්‍ය තොරතුරු ජනතාවට ලබා දීම මාධ්‍යයේ වගකීම බවත්ය.
මැදපෙරදිග යුද ගැටුම් උග්‍රවීමත් සමඟ ඇති වී තිබෙන සංවේදී වාතාවරණය තුළ මහජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත් කරන අසත්‍ය හෝ නොමඟ යවන සුළු තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වහාම වැළකී සිටින ලෙස ඇය මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියාය. රජයේ ක්‍රියාකලාපයන් වර්ණනා කිරීම මාධ්‍යයේ කාර්යය නොවන බවත්, භූමියේ පවතින සැබෑ තත්ත්වය වාර්තා කිරීම අත්‍යවශ්‍ය බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නාය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන සනාථ නොකළ තොරතුරු හේතුවෙන් මහජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති විය හැකි බැවින්, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය පරිශීලකයන් දැඩි ස්වයං පාලනයකින් යුතුව කටයුතු කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.














