මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ මෙරට ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර කිහිපයකට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. ප්‍රවාහන වියදම් ඉහළ යාම සහ නෞකා ගාස්තු වැඩි වීම හේතුවෙන් ඉදිරියේදී ඖෂධ, පොහොර සහ ඇඟලුම් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ, ප්‍රවාහන පිරිවැය ඉහළ යාම හමුවේ ආනයනික ඖෂධ මිල වැඩි විය හැකි වුවද, මේ වන විට රට තුළ කිසිදු ඖෂධ හිඟයක් නොමැති බවයි. මේ අතර, පවතින යුද වාතාවරණය නිසා ඉදිරියේදී පොහොර මිල ඉහළ යා හැකි බැවින් යල කන්නයේ වගාවන් සඳහා පොහොර නිකුත් කිරීම ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
ඇඟලුම් ක්ෂේත්‍රයට ද මෙයින් දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, ගෝලීය වශයෙන් ඇඟලුම් ඉල්ලුම පහත වැටීම සහ ප්‍රවාහන ප්‍රමාදයන් හේතුවෙන් ඇණවුම් යැවීමට බාධා මතුව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.
















