2026 වර්ෂයේ ගත වූ මුල් මාස දෙකක කාලය තුළ විගමණික ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 5,938 දෙනෙකුගේ සුභසාධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 962 ක මුදලක් වැය කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ. මෙරටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ලබාදෙන රටවිරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ රක්ෂණ සහ ආධාර වැඩසටහන් යටතේ මෙම ප්‍රතිලාභ පිරිනමා ඇත.
ඒ අනුව, කාර්යාංශයේ ලියාපදිංචි ශ්‍රමිකයින් 116 දෙනෙකු සඳහා රුපියල් මිලියන 39.76 ක රක්ෂණ ප්‍රතිලාභ ලබාදී ඇති අතර, විගමණික ශ්‍රමික දරුවන් 5,774 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 55.63 ක් වටිනා පාසල් උපකරණ ප්‍රදානය කර තිබේ. මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ පවුල්වල සාමාජිකයින්ගේ වෛද්‍ය අවශ්‍යතා වෙනුවෙන් ද මූල්‍ය ආධාර පිරිනමා ඇති බව කාර්යාංශය පවසයි. ශ්‍රමිකයෙකු විදේශගතව සිටියදී සිදුවන මරණයකදී ලබාදෙන වන්දි මුදල ද රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇත.
දකුණු පළාත් නිවාස වැඩසටහන ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
ජාතික නිවාස වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන “31,000 ජාතික නිවාස ආධාර වැඩසටහනේ” දකුණු පළාත් සමාරම්භක උළෙල දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දකුණු පළාත තුළ මේ වසරේදී ඉදිකිරීමට අපේක්ෂිත නිවාස සංඛ්‍යාව 540 කි.
මෙහිදී “දිරිය පියස” වැඩසටහන යටතේ අර්ධ වශයෙන් නිවාස ඉදිකළ ආබාධිත හෝ අධි අවදානම් පවුල් සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් ද, “සුවදිවි අරණ” වැඩසටහන යටතේ රුපියල් දස ලක්ෂයක ආධාර ද ප්‍රදානය කෙරිණි. මීට අමතරව “පහන් පියස” සහ “සිහින පියස” වැනි නිවාස ආධාර වැඩසටහන් යටතේ ද ප්‍රතිලාභීන් සඳහා ප්‍රදාන පත්‍ර පිරිනැමීම මෙහිදී සිදු විය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.















