eZCash සහ mCash වැනි ජංගම මුදල් හුවමාරු ක්‍රමවේද භාවිත කරමින් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කර තිබේ. මෙම ක්‍රමවේද හරහා අනන්‍යතාව හෙළි නොවන පරිදි සිදු කෙරෙන නීති විරෝධී ගනුදෙනු පාලනය කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා පොලීසිය සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරමින් නව දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට නියමිතය. මෙම පද්ධතිය හරහා සැකකටයුතු මුදල් හුවමාරු නිරීක්ෂණය කිරීමටත්, අපරාධවලට සම්බන්ධ පුද්ගලයින්ගේ සැබෑ අනන්‍යතාව කඩිනමින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් අවස්ථාව ලැබෙනු ඇත. මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව මගින් ජංගම මූල්‍ය සේවාවල විනිවිදභාවය සහ ආරක්ෂාව ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.
මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ඇති වී තිබෙන ආර්ථික පීඩනයත් සමඟ මෙවැනි නීති විරෝධී කටයුතු ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින්, මෙම ආරක්ෂණ පියවරයන් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව රජය අවධාරණය කරයි.














