ආණ්ඩුවේ පාර්ශවයන්ට හෝ ඔවුන්ට හිතවත් අයට වත්කම් තිබෙන විට ඒවා “සමාජ ප්‍රාග්ධනය” ලෙස අර්ථකථනය කරන නමුත්, විපක්ෂයේ දේශපාලනඥයෙකුට හෝ රාජ්‍ය සේවකයෙකුට වත්කම් තිබෙන විට ඒවා “හොරකම්” ලෙස හංවඩු ගැසීමේ ද්විත්ව පිළිවෙතක් වර්තමානයේ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. අද (07) කැලණිය මහා විහාරයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ වර්තමාන ආණ්ඩුව සහ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් තම වත්කම් සාධාරණීකරණය කිරීමට අලුත් නිර්වචන සොයමින් සිටින බවයි. “එදා වේදිකාවල අපිට ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ සහ උගන්ඩාවට ඩොලර් බිලියන 18ක් ගෙනිච්චා කියලා බොරු චෝදනා එල්ල කළා. හැබැයි අද බාල ගල් අඟුරු වංචාවට ජනාධිපතිවරයා සහ ඔහුගේ සමීපතම ඇමතිවරයා සෘජුවම සම්බන්ධයි. ඔවුන්ගේ වංචාවල පාඩුව අද ජනතාව පිට පටවලා විදුලි බිල සහ තෙල් මිල වැඩි කරලා තියෙනවා,” යැයි ඔහු චෝදනා කළේය.
තම පාලන සමයේ කොවිඩ් වසංගතය වැනි දරුණු අර්බුද පවතිද්දී පවා ජනතාවට සහන සැලසූ බව සිහිපත් කළ නාමල් රාජපක්ෂ මහතා, මහින්ද රාජපක්ෂ මහතා එදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කළේ රට සමාජ ව්‍යසනයකින් බේරා ගැනීමට බවත්, එසේ නොකළේ නම් අද ඔහුට ලෝකයෙන් “නොබෙල් සාම ත්‍යාගය” පවා හිමි වීමට ඉඩ තිබූ බවත් පැවසීය. ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටීමට තමන් සූදානම් බවත්, වර්තමාන රජය කිසිදු තෙතමනයක් නොමැතිව ජනතාව පීඩාවට පත් කරන තීන්දු ගන්නා බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














