මත්ද්‍රව්‍ය ගැටලුව පවුල් සංස්ථාවේ සහ සමස්ත ජාතියේම ස්ථාවරත්වයට තර්ජනයක් වන බරපතළ සමාජ අර්බුදයක් වී ඇති බැවින්, එය ජාතික ප්‍රමුඛතාවක් ලෙස සලකා විසඳිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. 2026-2030 කාලසීමාව සඳහා වන මත්ද්‍රව්‍ය භාවිතය කළමනාකරණය, ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය පිළිබඳ ජාතික උපායමාර්ගික සැලැස්ම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (13) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.
මෙහිදී නීතිය බලාත්මක කිරීම මෙන්ම පුනරුත්ථාපන කටයුතු සඳහාද සමාන ප්‍රමුඛතාවක් ලබාදීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. යෝජිත නව සැලැස්ම යටතේ ප්‍රාථමික සෞඛ්‍ය මට්ටමේදීම රෝග ලක්ෂණ හඳුනා ගැනීම, රෝහල් ආශ්‍රිත ප්‍රතිකාර වැඩිදියුණු කිරීම සහ සමාජගත කිරීමේ වැඩපිළිවෙළවල් ශක්තිමත් කිරීමට නියමිතය. විශේෂයෙන්ම ළමුන්, ගර්භණී මවුවරුන් සහ බන්ධනාගාර රැඳවියන් වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ.














