ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් පද්ධතියට එක්වූ ප්‍රථම කෘතිම බුද්ධිය (AI) සහිත නවීනතම MRI යන්ත්‍රය අද (09) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට නිල වශයෙන් එක් කෙරිණි. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 450කට අධික වටිනාකමකින් යුත් මෙම යන්ත්‍රය රෝගී සත්කාරක සේවා සඳහා විවෘත කරන ලදී.
ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සහ ස්නායු ශල්‍ය ඒකකයේ ප්‍රතිකාර සේවා ඉහළ නැංවීම සඳහා මෙම යන්ත්‍රය ස්ථාපනය කර ඇත. මීට පෙර රෝහලේ තිබූ MRI යන්ත්‍ර තුනම විටින් විට අක්‍රීය වීම නිසා රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබූ අතර, නව රජය පත්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතාගේ උපදෙස් පරිදි එම යන්ත්‍ර තුනම යළි පිළිසකර කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව දැන් ජාතික රෝහලේ MRI යන්ත්‍ර හතරක්ම ක්‍රියාත්මක මට්ටමේ පවතී.
















