දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් සහ නවීන ගිනිඅවි තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා අද (18) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී සැකකරුවන් පස්දෙනෙකු (05) දින 7ක කාලයක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර හිමි වූ අතර, ඉතිරි සැකකරුවන් පස්දෙනා මෙම මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
පසුගිය 12 වනදා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ මෙම බහුදින ධීවර යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 478ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 176ක් සොයාගත් අතර, එහි මුළු වටිනාකම රුපියල් බිලියන 10කට අධිකය. මීට අමතරව පිස්තෝල 8ක්, T56 ගිනිඅවි 2ක් සහ M16 වර්ගයේ ගිනිඅවියක් ඇතුළු අවි ආයුධ රැසක් නාවික හමුදා භාරයට ගෙන තිබුණි. මෙය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෑත ඉතිහාසයේ මහ මුහුදේදී අත්අඩංගුවට ගත් විශාලතම ගිනිඅවි තොගය ලෙසද වාර්තා වේ.














