ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු ගැඹුරු මුහුදේදී සැකපිට අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී කිලෝ ග්‍රෑම් 600කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (10) අනාවරණය කළේය. මීට අමතරව එම යාත්‍රාවේ තිබී සැලකිය යුතු ගිනිඅවි ප්‍රමාණයක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම යාත්‍රාව ඉදිරි දින දෙක ඇතුළත ගොඩබිමට රැගෙන ඒමට නියමිතය. මීට පෙර පසුගිය මාර්තු 07 වැනිදා ද දකුණු මුහුදේදී හෙරොයින් කිලෝ 102ක් සහ කොකේන් ග්‍රෑම් 900ක් සමඟ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව අමාත්‍යවරයා සිහිපත් කළේය. සංවිධානාත්මක අපරාධ සමඟ බද්ධ වී ඇති මෙම මත්ද්‍රව්‍ය ජාලය සහ සැපයුම් මාර්ග මුළුමනින්ම බිඳ දැමීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බලකාය (STF) සහ ත්‍රිවිධ හමුදාව එක්ව ඒකාබද්ධ මෙහෙයුම් දියත් කර ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














