ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක තොගය සහ නවීන ගිනි අවි 11ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය 11 වැනිදා සිදුකළ මෙම වැටලීමේදී සොයාගත් හෙරොයින් කිලෝග්‍රෑම් 176ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 478ක් මෙන්ම සැකකරුවන් ද මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාර දී තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා සඳහන් කළේ ඊයේ (12) පෙරවරුවේ දික්ඕවිට වරාය වෙත රැගෙන ආ බහුදින ධීවර යාත්‍රා දෙක පරීක්ෂා කිරීමේදී T56 ගිනි අවි 2ක්, M16 වර්ගයේ ගිනි අවියක්, පිස්තෝල 8ක් සහ මැගසින් කිහිපයක් සොයාගත් බවයි. මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් ලෙස විදේශගතව සිටින ‘පරවි සුදා’ සහ ‘අංගොඩ ප්‍රියංකර’ හඳුනාගෙන ඇති අතර, ඔවුන් විසින් මෙරට 23 හැවිරිදි යාත්‍රා ස්කීපර්වරයෙකු හරහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ආයුධ තොගය මෙරටට ගෙන ඒමේ අරමුණ සහ ඊට සම්බන්ධ සෙසු පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි. අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත අතර, මෙය මෑත ඉතිහාසයේ දකුණු මුහුදේදී සිදුකළ ප්‍රබලතම වැටලීමක් ලෙස සැලකේ.













