ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් සහ නවීන ගිනිඅවි තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රා දෙකේ සිටි සැකකරුවන් 10 දෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පියවර ගෙන තිබේ. ඊයේ (12) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ මෙම සැකකරුවන් පිරිස අවුරුදු 22 ත් 49 ත් අතර වයස්වල පසුවන ඉරණවිල, මහවැව, වෙන්නප්පුව, මීගමුව, තංගල්ල සහ ගන්දර වැනි ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත. යාත්‍රා දෙකෙහි සැකකරුවන් පස් දෙනා බැගින් ගමන් කර ඇති අතර, ඔවුන් ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට මෙම තොගය මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
මෙම වැටලීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 176 කට අධික ප්‍රමාණයක් සහ අයිස් (ICE) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 478 කට අධික ප්‍රමාණයක් සොයාගත් අතර, මත්ද්‍රව්‍යවලට අමතරව භයානක ගිනිඅවි රැසක් ද ජාවාරම්කරුවන් සන්තකයේ තිබී සොයාගෙන ඇත. ඒ අතර පිස්තෝල අවි 8ක්, මැගසින් 15ක්, ටී-56 වර්ගයේ ගිනිඅවි 2ක් සහ එම්-16 (M16) වර්ගයේ නවීන ගිනිඅවියක් ද තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි. මෙම අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ආනයනය කිරීම, ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය. මෙම මහා පරිමාණ ජාවාරම මෙහෙයවනු ලබන විදේශයන්හි සැඟව සිටින ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් පිළිබඳව ද තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
















