ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් විශාල මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ තොගයක් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතී. බහුදින ධීවර යාත්‍රා දෙකක් යොදා ගනිමින් සූක්ෂ්ම ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මෙම නීති විරෝධී ද්‍රව්‍ය තොගය නාවික හමුදා බුද්ධි තොරතුරු මත දියත් කළ වැටලීමකදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව වටා වූ මුහුදු කලාපයේ නාවික හමුදාව නිරන්තරයෙන් සිදු කරන මෙහෙයුම්වල තවත් එක් සාර්ථක ප්‍රතිඵලයක් ලෙස මෙය හැඳින්විය හැකිය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ නීති විරෝධී අවි ප්‍රවාහනය කරන්නන් ඉලක්ක කර ගනිමින් සිදු කළ මෙම වැටලීම හරහා මෙරටට ඇතුළු කිරීමට උත්සාහ කළ විශාල තොගයක් නීතියේ රැහැනට හසු කර ගැනීමට විමර්ශකයින් සමත් වී ඇත. අදාළ යාත්‍රා සහ සැකකරුවන් ගොඩබිමට රැගෙන ඒමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතය.














