දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව පරීක්ෂා කිරීමේදී රුපියල් බිලියන 3කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ අද උදෑසන මෙම යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් පසු සිදුකළ සෝදිසි කිරීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 123කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවයි. උර 6ක අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ යාත්‍රාවේ සිටි සැකකරුවන් පස්දෙනා ද මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.
මෙම වැටලීමත් සමඟ මේ වසර තුළ පමණක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා 7ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර පසුගිය සතියේදී පමණක් දකුණු මුහුදු තීරයේදී මෙවැනි යාත්‍රා 3ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව හමුවේ වුවද මෙරට මුහුදු සීමාව හරහා සිදුවන ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ සිය මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටී.














