ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, උප්පාරු ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස ගොඩදමන ලද වැලි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රා දහ අටක් (18) සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මහවැලි ගඟේ උප්පාරු පාලම අසල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 43ක් සහ 46ක් වන ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්, නීති විරෝධී ලෙස ගොඩදමන ලද වැලි තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කින්නියා පොලිස් ස්ථානය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
මෙරට ස්වභාවික සම්පත් සුරැකීම සහ පරිසර පද්ධතියට සිදුවන හානිය අවම කිරීමේ අරමුණින් නාවික හමුදාව මෙවැනි නීති විරෝධී කටයුතු මැඩලීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. මහවැලි ගඟ ආශ්‍රිතව සිදුකෙරෙන වැලි ජාවාරම හේතුවෙන් ගංගා ඉවුරු ඛාදනය වීම සහ පරිසර දූෂණය වීම වැනි බරපතල ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.














