NDB බැංකුවේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට (CoPF) දැනුම් දී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය අඟහරුවාදා (07) රැස්වූ කාරක සභාව හමුවේ මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කරුණු දක්වමින් මේ බව ප්‍රකාශ කළහ.
මෙම වංචාව සම්බන්ධයෙන් කරුණු විමසූ කාරක සභාව, අදාළ බැංකුවේ ආයතනික පාලනයේ පවතින දුර්වලතා, මහ බැංකුවේ අධීක්ෂණ අංශවල පවතින අඩුපාඩු සහ තොරතුරු වාර්තා කිරීමේදී සිදුව ඇති ප්‍රමාදයන් පිළිබඳව සිය දැඩි ප්‍රසාදය පළ කර සිටියේය. අවශ්‍ය තොරතුරු රැස් කළ වහාම ඒ පිළිබඳ වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන බවට මහ බැංකු අධිපතිවරයා සහතික විය. මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා වගවීම සහ විනිවිදභාවය තහවුරු කිරීමට වහාම නිවැරදි කිරීමේ පියවර ගන්නා ලෙසත්, ඒ පිළිබඳව දැඩි අධීක්ෂණයකින් පසුවන බවත් කාරක සභාව මෙහිදී අවධාරණය කළේය.














