සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා ආහාර සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) 2,000කට අධික පිරිසක් සේවයේ යෙදවීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.පී. බොරලැස්ස මහතා සඳහන් කළේ, වියළි, නිමි සහ පිසූ ආහාර සපයන සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙම විශේෂ විමර්ශනයට යටත් වන බවයි.
විශේෂයෙන්ම ආහාර නිෂ්පාදන ආයතන, බෙදාහැරීමේ වාහන, හෝටල්, අවන්හල්, සතිපොළවල් මෙන්ම මගී ප්‍රවාහන බස් රථ නතර කරන ආපනශාලා කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරේ. මෙහිදී සෞඛ්යාරක්ෂිත නොවන අයුරින් ආහාර අලෙවි කරන ස්ථාන වැටලීමටත්, නීතිමය පියවර ගැනීමටත් නිලධාරීන්ට උපදෙස් දී ඇත. මීට අමතරව, සංවිධානය කරනු ලබන අවුරුදු උත්සවවලදී සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින සංවිධායකවරුන්ට එරෙහිව කටයුතු කරන බවත්, අවශ්‍ය වුවහොත් එවැනි උත්සව තහනම් කිරීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.














