පවතින ගෝලීය අර්බුදය හමුවේ ලොව බොහෝ රටවල් ‘නිවසේ සිට වැඩ කිරීමේ’ (Work From Home) ක්‍රමවේදයට යොමු වුවද, දැනට මෙරට තුළ එවැනි පියවරක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව වෙළෙඳ, වාණිජ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. බලශක්තිය පිරිමසා ගනිමින් ජනතාවට සාමාන්‍ය පරිදි කටයුතු කළ හැකි වාතාවරණයක් නිර්මාණය කිරීමට රජය උපරිමයෙන් කටයුතු කරන බවත්, ඉදිරියේදී අවශ්‍ය වුවහොත් පමණක් එවැනි විකල්ප ගැන අවධානය යොමු කරන බවත් ඔහු අවධාරණය කළේය.
මෙම අර්බුදයට මුහුණ දීම සඳහා බලශක්ති යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය පියවර ගනිමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, නව ගෑස් ගබඩාවක් ඉදිකිරීමට මෙන්ම සපුගස්කන්ද සහ මුතුරාජවෙල තෙල් ටැංකිවලට අමතරව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දහයක් නවීකරණය කිරීමට ද සැලසුම් කර ඇති බව සඳහන් කළේය.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ ඇමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු ලෝක නායකයන් ගන්නා තීරණ මත ඉන්ධන මිල තීරණය වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාමේ අවදානමට පාරිභෝගික ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇති බව ද කියා සිටියේය.














