නොරොච්චෝලේ බලාගාරයට 2025-2026 කාලසීමාව සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුව ඇති බරපතල අක්‍රමිකතා රැසක් විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය කර තිබේ. කෝප් කමිටුවේ දැනුම් දීමකට අනුව සිදුකළ මෙම විමර්ශන වාර්තාව කතානායකවරයා විසින් ඊයේ (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙහිදී ප්‍රධාන වශයෙන් හෙළිවී ඇත්තේ ඉන්දියාවේ ට්‍රයිඩෙන්ට් සමාගම වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමේදී නියමිත ප්‍රසම්පාදන මූලධර්ම සහ නීතිමය ක්‍රියා පටිපාටි සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇති බවයි.
විගණන වාර්තාවට අනුව, මෙට්‍රික් ටොන් මිලියන 1.5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් ට්‍රයිඩෙන්ට් සමාගම ලංසු කැඳවන අවස්ථාව වන විටත් ලංකා ගල් අඟුරු සමාගමේ ලියාපදිංචි වී නොසිටි සැපයුම්කරුවෙකි. එසේම, මෙම ගිවිසුම සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමටත් පෙර සමාගම සමඟ ගිවිසුම් ගත වීමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කර තිබේ. මීට අමතරව, ගල් අඟුරු වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා පත් කළ විදේශීය පරීක්ෂණ සමාගම්වල බලපත්‍ර කල් ඉකුත් වී තිබීමත්, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයීමේදී ඒවා නිවැරදි කර ගැනීමට තිබූ අවස්ථා බලධාරීන් හිතාමතාම මඟහැර තිබීමත් විගණනයේදී අනාවරණය වී ඇත.
මෙම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු අධි පරිභෝජනය හේතුවෙන් රුපියල් බිලියන 2.2ක දැවැන්ත ඇස්තමේන්තුගත මූල්‍ය අලාභයක් රජයට සිදුවී ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි. එසේම, හදිසි ප්‍රසම්පාදන යටතේ ගල් අඟුරු සැපයූ ටරන්ජොට් රිසෝර්ස් සමාගම සැපයූ ගල් අඟුරු ද නියමිත තාපජනන අගයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවති බවත්, මේ හරහා ජාතික විදුලි බල පද්ධතියට සහ බලාගාරයේ ක්‍රියාකාරීත්වයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.














