නොරොච්චෝල ලක්විජය බලාගාරයට මෙතෙක් ආනයනය කරන ලද ගල් අඟුරු නැව් 11ක ප්‍රමිතිය පිළිබඳ බරපතල ගැටලු පවතින බවත්, එම හේතුවෙන් බලාගාරයේ ජනන යන්ත්‍රවලින් ලබාගත හැකි උපරිම ධාරිතාව ලබාගැනීමට නොහැකි වී ඇති බවත් බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා පවසයි. මෙම බාල ගල් අඟුරු භාවිතය නිසා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 8.5ක දැවැන්ත පාඩුවක් සිදුව ඇති බව මහජන උපයෝගිතා කොමිසම ද තහවුරු කර ඇත. සැලසුම් කළ නැව් 16න් මෙතෙක් ලැබී ඇත්තේ නැව් 11ක් පමණක් වන අතර, ඉතිරි නැව් 5ක හිඟය හේතුවෙන් පද්ධතියේ ස්ථාවරත්වය රැක ගැනීම සඳහා එක් ජනන යන්ත්‍රයක් මාස හතරක (දින 120ක) කාලයක් සම්පූර්ණයෙන්ම අක්‍රිය කර තැබීමට සිදුවනු ඇතැයි ඔහු අනතුරු අඟවයි.
ගතවූ දිනයේදී විදුලි උත්පාදනය අපේක්ෂිත මෙගාවොට් 810ක ඉලක්කයට වඩා විශාල ලෙස පහත වැටී ඇති අතර, සන්ධ්‍යා කාලයේදී මෙගාවොට් 190ක දැවැන්ත ජනන හිඟයක් වාර්තා වී තිබේ. මීට අමතරව, ගල් අඟුරු සම්බන්ධ නොවන අලුත්වැඩියාවක් සඳහා පළමු ජනන යන්ත්‍රය ද ඊයේ රාත්‍රියේ අක්‍රිය කිරීමට සිදුව ඇති අතර ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නිසා තෙවැනි යන්ත්‍රයේ ග්‍රයින්ඩර් යන්ත්‍ර දෙකක් ද අක්‍රිය වී ඇත. මේ හේතුවෙන් අළු පෙරනයන් ඉවත් කර දහනය කිරීමට සිදුවීම නිසා අහිතකර වායුන් විශාල වශයෙන් වායුගෝලයට මුදා හැරෙන බවත්, මෙම හිඟය පියවීමට ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් විදුලි බිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බවත් රලපනාව මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.














