පසුගිය පොදුජන පෙරමුණ පාලන සමයේ උතුරු මැද පළාතේ වැව් සංවර්ධනය කළ බව පවසමින් රුපියල් කෝටි 60කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සසිදු වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර තිබේ. උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය තුළ සිදුව ඇති මෙම වංචාව පිළිබඳව එම ඒජන්සියේම වත්මන් සභාපතිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, වැව් සංවර්ධනය කළ බව පවසා අදාළ මුදල් ලබාගෙන තිබුණද, එලෙස සංවර්ධනය කළ බව කියන කිසිදු වැවක් සොයා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි. මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඉතා සංකීර්ණ හා පුළුල් විමර්ශනයක් අවශ්‍ය බව පෙන්වා දුන් CID නිලධාරීන්, මීට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් හෝ වෙනත් පාර්ශවයන් සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ද අවධාරණය කළේය.














