ශ්‍රී ලංකාව තුළ පදිංචිව සිටිමින් විදේශීය රැකියාවල නිරත වන විදේශිකයන් ඉලක්ක කර ගනිමින් නිර්මාණය කළ “Digital Nomad Visa” (DNV) පහසුකම නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ඊයේ (26) කටුනායක ගුවන් තොටුපොළේදී සිදු විය. ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී යූක්‍රේන ජාතික අඹුසැමි යුවළක් වන ඩාර්යා ගෝර්ඩියෙන්කෝ සහ යාරොස්ලාව් කොවෙල්චුක් යන මහත්ම මහත්මීන් වෙත ප්‍රථම බලපත්‍ර පිරිනමනු ලැබීය.
මෙම විශේෂ වීසා බලපත්‍රය ලබා ගැනීම සඳහා මූලික සුදුසුකම් කිහිපයක් සපුරාලිය යුතුය. ඒ අනුව අයදුම්කරු වයස අවුරුදු 18ට වැඩි අයෙකු විය යුතු අතර, මාර්ගගත ක්‍රමයට විදේශීය ආයතන සමඟ සම්බන්ධ වෙමින් මසකට අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 2,000ක විදේශ විනිමය ආදායමක් මෙරටට ගෙන එන අයෙකු විය යුතුය. වසරක කාලයක් සඳහා වලංගු වන මෙම වීසා බලපත්‍රය හිමි විදේශිකයන්ට මෙරට තුළ දේශීය රැකියාවල හෝ ව්‍යාපාරවල නිරත වීම තහනම් වුවද, ඔවුන්ගේ දරුවන්ට මෙරට ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමි වේ.
ආරක්ෂක අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අයදුම්කරුවන්ගේ වෛද්‍ය වාර්තා සහ පොලිස් වාර්තා දැඩි ලෙස ඇගයීමට ලක් කරන අතර, ඔවුන්ගේ බැංකු ගිණුම් හා ආදායම් පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන නිරන්තර අධීක්ෂණයක පසුවේ. මෙම නව ක්‍රමවේදය හරහා මෙරටට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමටත්, ඩිජිටල් සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමටත් රජය අපේක්ෂා කරයි.














