මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් වාතාවරණය මධ්‍යයේ වුවද, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි සැලකිය යුතු අඩුවීමක් අද (මාර්තු 25) පෙරවරුවේ වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 88.27ක් දක්වා සියයට 4.42කින් පහළ ගොස් ඇත. මීට අමතරව ලෝකයේ ප්‍රධානතම තෙල් මිණුම් දණ්ඩක් වන බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද සියයට 5.41ක අඩුවීමක් පෙන්වමින් ඩොලර් 98.84ක් දක්වා පහත වැටී තිබේ.
ශ්‍රී ලංකාව සිය පිරිපහදු කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් ආනයනය කරන මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් මිලෙහි ද අතිවිශාල අඩුවීමක් වාර්තා වීම විශේෂත්වයකි. ඒ අනුව මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 119.88ක් ලෙස සටහන් වන අතර, එය පෙර පැවති මිලට සාපේක්ෂව සියයට 11.31ක දැවැන්ත පහත වැටීමකි. ඇමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා ආරම්භ වීමේ ඉඟි පළවීමත් සමඟ සැපයුම පිළිබඳව පැවති අවිශ්වාසය දුරු වීම මෙම මිල පහළ යාමට ප්‍රධානතම හේතුවක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














