ඕමානයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ප්‍රභාත් මධුසංඛ හෙවත් ‘මිඩිගම චූටි’ හෙට (30) උදෑසන දිවයිනට රැගෙන ඒමට නියමිතය. විවිධ අපරාධ රැසකට සම්බන්ධ මොහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කර තිබූ අතර, පසුගිය වසරේදී ඕමාන් ආරක්ෂක අංශ විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔහුව මෙරටට රැගෙන ඒම සඳහා දැනටමත් ඕමානය බලා පිටත්ව ගොස් තිබේ. මෙරට තුළ සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට මොහු සෘජුවම සම්බන්ධ බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.
ප්‍රභාත් මධුසංඛ දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව ඔහු මෙහෙයවූ අපරාධ ජාලයන් සහ අනෙකුත් සහචරයන් පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. විදේශගතව සිට මෙරට අපරාධ මෙහෙයවන ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගෙන ඇත.














