රෝගී මරණ කිහිපයකට හේතු වූ බවට සැක කෙරෙන ආන්දෝලනාත්මක ‘ඔන්ඩෙස්ටෙරෝන්’ (Ondesterone) එන්නත සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම දක්වන නිහඬතාවය බරපතල සැකයකට තුඩු දෙන බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.
ඔහු ප්‍රශ්න කර සිටින්නේ මෙම එන්නතට අදාළ ජාත්‍යන්තර වාර්තා මෙතෙක් මහජනතාවට ප්‍රසිද්ධ නොකිරීමට හේතුව කුමක්ද යන්නයි. පසුගිය වසරේ අවසන් භාගයේදී දිවයිනේ රෝහල් කිහිපයකින් වාර්තා වූ රෝගී මරණ සඳහා මෙම එන්නත සහ පසුව භාවිතයෙන් ඉවත් කරගත් තවත් ඖෂධ කාණ්ඩ කිහිපයක් සෘජුවම සම්බන්ධ බවට සැක පවතින බව ඔහු සඳහන් කළා. මහනුවර ජාතික රෝහලේදී සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම එන්නත් කාණ්ඩවල බැක්ටීරියා විෂ (bacterial toxins) අඩංගු බව ඖෂධ නියාමන අධිකාරිය අනාවරණය කළද, ඊට අදාළ ජාත්‍යන්තර මට්ටමේ වැඩිදුර සොයාගැනීම් හෙළි කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවට ඔහු චෝදනා කරනවා.
මීට මාස හයකට පමණ පෙර මෙම එන්නත ඇතුළු ඖෂධ කාණ්ඩ දහයකට ආසන්න ප්‍රමාණයක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළද ඒ පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් මෙතෙක් සිදු කර නැති බව පෙන්වා දෙන ඒ මහතා, නිසි ප්‍රමිතියකින් තොරව මෙරටට ගෙන්වන ඖෂධ භාවිතය දිගින් දිගටම සිදු වුවහොත් මෙරට සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක් විය හැකි බවට අනතුරු අඟවනවා. මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක්ද සිහිපත් කරමින් ඔහු කියා සිටියේ නිසි ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝගීන්ට ලබා දීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන බැවින් මේ සම්බන්ධයෙන් වහාම විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන ලෙසයි.














