අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචා (Online Scam) ජාලයක් වටලා විදේශිකයන් 134 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යුද හමුදා බුද්ධි අංශ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (17) සමත් විය. මෙම වැටලීම සිදු කර ඇත්තේ අදාළ ප්‍රදේශවල පිහිටි ප්‍රසිද්ධ නවාතැන්පොළවල් පහක් (Guest Houses) පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවය.
අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයින් 126ක්, මියන්මාර ජාතිකයින් 04ක් සහ තායිවාන ජාතිකයින් 04ක් සිටින බව ආරක්ෂක අංශ තහවුරු කරයි. මොවුන් ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන සහ තවත් නවීන තාක්ෂණික උපකරණ රැසක් භාවිත කරමින් විවිධ රටවල පුද්ගලයන් ඉලක්ක කර මෙම මූල්‍ය වංචාව මෙහෙයවා ඇත. යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර, අත්අඩංගුවට ගත් පිරිස සහ උපකරණ වැඩිදුර විමර්ශන සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ පොලිසිය වෙත භාර දී තිබේ. සැකකරුවන් මෙරටට පැමිණ ඇත්තේ සංචාරක වීසා මත බවත්, ඔවුන්ගේ වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙම ජාවාරමේ නිරත වී ඇති බවත් මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.













