ශ්‍රී ලංකාව තුළ විවෘත පාලනය, විනිවිදභාවය සහ රජයේ වගවීම තහවුරු කිරීමේ අරමුණින් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව (Open Government Partnership – OGP) කලාපීය වටමේස සාකච්ඡාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහභාගී විය. පසුගිය 10 වනදා පැවැති මෙම සමුළුව එක්සත් රාජධානියේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) විසින් සංවිධානය කර තිබුණි.
ශ්‍රී ලංකාව මින් පෙර විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ක්‍රියාවලියෙන් අක්‍රීය වී තිබූ අතර, එය නැවත සක්‍රීය කිරීම සහ ඒ සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ මාර්ග සිතියම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. ඉන්දුනීසියාව, මාලදිවයින සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදකයින් ද සිය අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විවෘත පාලන ප්‍රතිසංස්කරණ හුදෙක් ලේඛනවලට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව ජනතාව වෙත සමීප කරවීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමණික්කම් මහතා ද එක්ව සිටි අතර, OGP ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානී ස්වාති මෙහෙතා සහ එක්සත් රාජධානියේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් ද මීට දායකත්වය ලබා දුන්හ.














