විදුලිය, ඉන්ධන සහ සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා 15ක් අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කෙරෙයි; ‘දිත්වා’ සුළි කුණාටු ආපදා හමුවේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමට පියවර
දිවයින පුරා දැනට පනවා ඇති මහජන හදිසි අවස්ථා තත්ත්වය (State of Public Emergency) තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ රටේ සාමාන්‍ය ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සහ අත්‍යවශ්‍ය සැපයුම් සහතික කිරීමේ අරමුණින් බව වාර්තා වේ.
මීට පෙර ‘දිත්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කෙරිණි. නව ගැසට් නිවේදනයට අනුව විදුලි බලය, ඉන්ධන, සෞඛ්‍ය, ප්‍රවාහන සහ ජල සම්පාදන සේවාවන් ඇතුළු ක්ෂේත්‍ර 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒවා කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට රජය බැඳී සිටී.
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ පොදුජන ජීවිතයට අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා සතු විධායක බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.















