මෙරට නීතිඥවරුන්, මාධ්‍යවේදීන් සහ වෘත්තිකයන්ට එල්ල වන බලපෑම් මෙන්ම පොලිසිය දේශපාලනීකරණය වීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් රැසකගේ අත්සනින් යුත් විශේෂ ලිපියක් ජාත්‍යන්තර සංවිධාන වෙත යොමු කර තිබේ. ජාත්‍යන්තර නීති සංගමය, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීති සංගමය ඇතුළු ආයතන කිහිපයකට යොමු කළ මෙම ලිපිය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලිත් ජයවීර සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් අත්සන් තබා ඇත. රට තුළ වෙඩි තැබීම් සහ ඝාතන සිදුවීම් ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන මෙම ලිපිය මඟින් පසුගිය වසරේ පමණක් පුද්ගල මරණ 60ක් සහ මේ වසරේ මේ දක්වා මරණ 9ක් වාර්තා වී ඇති බව අවධාරණය කරයි.
පසුගිය පෙබරවාරි 13 වැනිදා අධි ආරක්ෂිත කලාපයක් අසලදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මෙහිදී විශේෂයෙන් පෙන්වා දී ඇති අතර, එම ඝාතනයෙන් සුළු වේලාවකට පසු පොලිසිය විසින් එම නීතිඥවරයා අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටි අයෙකු ලෙස හුවා දැක්වීම හරහා එම මිලේච්ඡ ක්‍රියාවේ බරපතළකම අවතක්සේරු කිරීමට උත්සාහ කළ බවට විපක්ෂය චෝදනා කරයි. පොලිස්පතිවරයා ඇතුළු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති බැවින් විනිසුරුවරුන්ට සහ නීතිඥවරුන්ට ස්වාධීනව රාජකාරි කිරීමට ඇති බාධාවන් මෙන්ම යෝජිත ත්‍රස්ත විරෝධී පනත හරහා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ අවදානමක් පවතින බව ද එහි සඳහන් වේ.
මෙම තත්ත්වය හමුවේ මාධ්‍ය හිමිකරුවන් සහ මාධ්‍යවේදීන් විශාල අවදානමකට ලක්ව ඇති බව පවසන විපක්ෂ නායකයන්, ජාත්‍යන්තර වෘත්තීය සංවිධාන වහාම මැදිහත් වී මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියි. දේශපාලන මතභේද පසෙකලා විපක්ෂයේ සියලු ප්‍රධාන කණ්ඩායම් එක්ව මෙවැනි ලිපියක් යොමු කිරීම හරහා මෙරට පවතින නීතිය හා සාමය පිළිබඳ තත්ත්වය ජාත්‍යන්තර අවධානයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














