ශ්‍රී ලංකාවේ භූගත ජල සම්පත අවභාවිත කිරීම වැළැක්වීම සහ එමඟින් ඇති වන මතුපිට ජල ස්කන්ධයන්ගේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සඳහා 1964 අංක 29 දරන ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව මඟින් ජල සම්පත් මණ්ඩලයේ නියාමන බලතල තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂිතය.
පවතින පනතේ විධිවිධාන අනුව වාණිජ ව්‍යාපෘති සඳහා භූගත ජලය භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු නියෝග වරින් වර නිකුත් කළද, මහජනතාවට පීඩාකාරී වන අයුරින් අසීමාන්තික ලෙස ජලය උකහා ගැනීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු පවතින බව නිරීක්ෂණය වී ඇත. විශේෂයෙන්ම භූගත ජලය අධික ලෙස ලබා ගැනීම නිසා ස්වභාවික ජල උල්පත් සිඳී යාම සහ ජල දූෂණය වැළැක්වීම සඳහා දැනට පවතින නීතිමය රාමුව ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන තිබේ.
මෙම නව සංශෝධනය හරහා ජල සම්පත් මණ්ඩලයේ කාර්යභාරය පුළුල් කෙරෙන අතර, ජල උල්පත් සුරක්ෂිත කිරීම, ජල කළමනාකරණය විධිමත් කිරීම සහ ජලය අවභාවිත කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික පදනම සකස් කෙරෙනු ඇත. මෙය මෙරට අනාගත ජල සුරක්ෂිතතාව වෙනුවෙන් ගනු ලැබූ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.














