පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 9.30 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය. අද දින න්‍යාය පත්‍රයට අනුව පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග යටතේ වන පාර්ලිමේන්තු කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන් විසින් යොමු කරනු ලබන වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙරවරු 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ඉදිරිපත් කෙරෙන විශේෂ ප්‍රශ්න වෙනුවෙන් වෙන් කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
අද දින පාර්ලිමේන්තු විවාදයේ සුවිශේෂී කරුණක් වන්නේ දූෂණ විරෝධී පනත යටතේ පිහිටුවා ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන්ගේ සහ සේවා නියුක්තිකයන්ගේ පාරිශ්‍රමිකයන් මෙන්ම සේවා කොන්දේසි තීරණය කිරීම සඳහා වන අතුරු යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතව තිබීමයි. පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා මෙම විවාදය පැවැත්වෙන අතර ඉන් අනතුරුව එය අනුමත කර ගැනීමට ද නියමිතව ඇත. දවස අවසානයේ පස්වරු 5.00 සිට 5.30 දක්වා කාලය ආණ්ඩු පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමෙන් පසුව සභාවේ කටයුතු නිමාවට පත් වනු ඇත.














