ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නම්, එය ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලින් ආරම්භ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (අප්‍රේල් 10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
පසුගිය දශක කිහිපය පුරා මෙරට ක්‍රියාත්මක වූ ප්‍රධාන විදුලි බල ව්‍යාපෘති රැසකට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වූ බව ඔහු චෝදනා කළේය. විශේෂයෙන්ම නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සහ උමා ඔය ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ඔවුන් විරෝධතා දැක්වූ බව ඔහු සිහිපත් කළේය.
ලක්ෂපාන, වික්ටෝරියා, රන්දෙණිගල සහ කොත්මලේ වැනි ජල විදුලි බලාගාර ඉදි කළේ පසුගිය රජයන් විසින් බවත්, එම නායකයින් එම පියවර නොගත්තේ නම් අද රටට විදුලිය නොමැති වන බවත් ඔහු පෙන්වා දුන්නේය. වසර 76ක පාලනය විවේචනය කරන ජවිපෙ මන්ත්‍රීවරුන් එදා බලාගාර ඉදිකිරීමට විරුද්ධ වූ නිසා, පොදු ජනතාවගේ විදුලිය කැපීමට පෙර ඔවුන්ගේ නිවෙස්වල විදුලිය විසන්ධි කිරීම සාධාරණ බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
විදුලි බලාගාර ඉදිකිරීමට බාධා කළ පිරිස්වලට අද විදුලි අර්බුදය ගැන කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව පවසමින්, චාමර සම්පත් මන්ත්‍රීවරයා සිය දැඩි විරෝධය පළ කළේය.














