මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දරුණු යුදමය තත්ත්වය සහ එහි ගෝලීය බලපෑම පිළිබඳව පාර්ලිමේන්තුවේදී දින දෙකක විවාදයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) ඉල්ලීමක් කළේය. පවතින තත්ත්වය හමුවේ මෙවැනි විවාදයක් පැවැත්වීම ඉතා යෝග්‍ය බවත්, ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර මෙන්ම ඉරානය විසින් සිදුකරන ප්‍රතිප්‍රහාර ද සමස්ත පාර්ලිමේන්තුවම එක්ව හෙළා දැකිය යුතු බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.
යොහාන් පෙරේරා සහ අජිත් සිරිවර්ධන වාර්තා කරන පරිදි, මෙම ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ මෙරට ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ද රජයේ අවධානය යොමු විය යුතු බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. ලෝක දේශපාලනයේ සිදුවන මෙම ප්‍රබල වෙනස්කම් හමුවේ ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු බව ඔහුගේ අදහස වී තිබේ.














