මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය සහ මෙරට බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර දැඩි වාග් සංග්‍රාමයක් ඇති විය. නොරොච්චෝලේ බලාගාරයට බාල ගල් අඟුරු ගෙන ඒම නිසා විදුලි උත්පාදනය අඩුවී ඇති බවත්, එය පියවීමට අවශ්‍ය තෙල් ලබාගැනීමේදී මැදපෙරදිග අර්බුදය බාධාවක් විය හැකි බවත් පෙන්වා දුන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා රජයෙන් ප්‍රශ්න කර සිටියේ එවැනි තත්ත්වයකදී විදුලිය ලබා දෙන්නේ කෙසේද යන්නයි. විශේෂයෙන්ම වත්මන් රජයේ නායකයින් බලයට පත්වීමට පෙර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නැරඹීමට ගොස් ඒවා භාවිතා කරන ආකාරය ගැන විශාල ප්‍රචාරයක් ලබා දුන් බව සිහිපත් කළ මන්ත්‍රීවරයා, අද බලය තිබියදීත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ මන්දැයි විමසා සිටියේය.
මෙම චෝදනාවලට පිළිතුරු ලබාදුන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අවධාරණය කළේ විපක්ෂය පවසන පරිදි ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවත්, මේ වන විටත් මෙරට පවතින සියලුම තෙල් ටැංකි උපරිම ධාරිතාවයෙන් පුරවා ඇති බවත්ය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 9ක් අලුතින් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, දැනට පවතින ටැංකි 24ක් නල මාර්ග පද්ධති සමඟ අලුත්වැඩියා කරමින් පවතින බවද ඔහු සඳහන් කළේය. පසුගිය රජයන් විසින් මෙරට සම්පත් විකුණා දැමූ බවට චෝදනා කළ අමාත්‍යවරයා, වත්මන් රජය එම සම්පත් යළි ගොඩනැගීමට කටයුතු කරන බවත් මෙහිදී මරහඬ තැබීමෙන් පලක් නොවන බවත් පවසමින් විපක්ෂයට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.














