කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ගත් තීරණයකට අනුව පාර්ලිමේන්තුව අද (08) පෙව 9.30 ට රැස්වීමට නියමිතයි. රජය විසින් සෑම බදාදා දිනයක්ම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් අද දිනයේ පාර්ලිමේන්තුව රැස් නොවන බවට මීට පෙර තීරණය කර තිබුණද, පවතින අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් අද දිනයේ සභාව රැස් කිරීමට ඊයේ තීරණය විය.
අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු පෙව 9.30 සිට ආරම්භ වන අතර පෙව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ. ඉන් අනතුරුව පෙව 11.00 සිට පසව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරන වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාවට අදාළ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළාය. හෙට (09) සහ අනිද්දා (10) යන දෙදින තුළ ද පාර්ලිමේන්තු කටයුතු කිසිදු වෙනසකින් තොරව සිදුවනු ඇත.
මේ අතර එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අප්‍රේල් මාසයේ දෙවන පාර්ලිමේන්තු සතියේ රැස්වීම් නොපැවැත්වීමට ද කාරක සභාව තීරණය කර තිබේ. ඒ අනුව මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට උත්සව සමය වෙනුවෙන් නිවාඩු හිමිවනු ඇත.














