පාර්ලිමේන්තුවේ අද (10) පැවති විවාදයට එක්වෙමින් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා රජයට එරෙහිව දැඩි විවේචනයක් එල්ල කළේය. මීට පෙර පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් 225 දෙනාම දූෂිතයන් බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කළද, වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනාම දූෂිතයන් බව අද දින ඔප්පු වන බව ඔහු පවසා සිටියේය. මාලිමාවේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ගල් අඟුරු වංචාව වසන් කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, එමගින් ඔවුන් සිය මුහුණුවල ගල් අඟුරු තවරාගෙන ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම ගල් අඟුරු වංචාව සංවිධානාත්මක මංකොල්ලයක් බව පෙන්වා දුන් මරික්කාර් මහතා, බාල ගල් අඟුරු රැගත් නැව් තුනක් මෙරටට පැමිණි මුල් අවස්ථාවේදීම ඒ පිළිබඳව අනතුරු ඇඟවූවත් ආණ්ඩුව ඊට සවන් නොදුන් බව ප්‍රකාශ කළේය. එම අවස්ථාවේදී අදාළ ගැටලුව විසඳීමට උත්සාහ නොකර විපක්ෂයට මඩ ගැසීමට ආණ්ඩුව කටයුතු කළ බව ද ඔහු චෝදනා කළේය. බාල ගල් අඟුරු නැව් පහක් හේතුවෙන් පමණක් මෙරටට රුපියල් මිලියන 4,200ක පාඩුවක් සිදුව ඇති බවත්, මෙම මහා වංචාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවට ඇමතිවරයා ප්‍රකාශ කිරීම බරපතළ තත්ත්වයක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














