සිය වැඩ තහනම් කිරීමට පාර්ලිමේන්තු උපදේශක කමිටුව ගත් තීරණය නීතිවිරෝධී බව පවසමින් හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 18 සහ 19 යන දිනවල කැඳවීමට අභියාචනාධිකරණය අද (03) නියම කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී, වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට කාලය ලබා දෙන ලෙසයි.
මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අවධාරණය කළේ, නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ පත්වීම් සහ විනය බලධාරියා වන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මිස උපදේශක කමිටුව නොවන බවයි. එසේම වැටුප් රහිතව මෙම වැඩ තහනම සිදු කිරීම නීතියට පටහැනි බව ද ඔහු පෙන්වා දුන්නේය. කථානායකවරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරිය සහ විපක්ෂ නායකවරයා ඇතුළු 14 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අතර, අදාළ විරෝධතා සහ ලේඛන කඩිනමින් ගොනු කරන ලෙස අධිකරණය රජයේ නීතිඥවරියට නියෝග කළේය.














