ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම සහ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිදුව ඇති බව කියන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් විදේශ තානාපති කාර්යාල කිහිපයක අවධානය යොමුව ඇති බව වාර්තා වේ. මෙම සිද්ධීන් පිළිබඳව අදාළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඉදිරියේදී පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් කරුණු විමසීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුවේ සිදුවූ බව පැවසෙන හිංසන ක්‍රියා පිළිබඳව පසුගිය කාලයේ පළවූ මාධ්‍ය වාර්තා ද මෙම අවධානයට හේතු වී තිබේ. මීට පෙර ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සිදුවූ ලිංගික හිංසන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කමිටු නිර්දේශ මත නිලධාරීන් දෙදෙනෙකු සේවයෙන් නෙරපා හැරුණු අතර, තොරතුරු පද්ධති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට සිදුවූ හිංසන පිළිබඳව ද හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ කමිටු වාර්තාව මගින් කරුණු පෙන්වා දී තිබුණි.
කෙසේ වෙතත්, එම විමර්ශන වාර්තාව නිකුත් කර මාස හතරකට වැඩි කාලයක් ගතවී ඇතත් එහි අඩංගු නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. හිංසනයට ලක්වූ නිලධාරිනියට සාධාරණය ඉටු කරන ලෙස එම වාර්තාවෙන් නිර්දේශ කර තිබුණ ද, එම ක්‍රියාවලිය ප්‍රමුඛතා පදනම මත මෙතෙක් සිදුව නොමැති බව වාර්තා වේ.














