යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් පසුගිය මාර්තු 22 සිට 27 දක්වා ඉන්දියාවේ නවදිල්ලි සහ මුම්බායි නගරවල විශේෂ අධ්‍යයන සංචාරයක නිරත වූහ. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයකට අනුව සිදුවූ මෙම සංචාරය දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කර ගත්තකි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සහ පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසක් මෙම කණ්ඩායමට ඇතුළත් වූහ. සංචාරය අතරතුර නියෝජිත පිරිස ඉන්දීය ලෝක සභාවේ කථානායක ඕම් බිර්ලා මහතා, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.
ඉන්දියාවේ යටිතල පහසුකම් සංවර්ධනය අතින් සුවිශේෂී ව්‍යාපෘති රැසක් නිරීක්ෂණය කිරීමට නියෝජිත පිරිසට අවස්ථාව ලැබුණි. ඒ අනුව “PM Gati Shakti” ජාතික සැලැස්ම, දිල්ලි මෙට්‍රෝ දුම්රිය පද්ධතිය, Smart City ව්‍යාපෘති, “Jal Jeevan” ජල සම්පාදන වැඩසටහන මෙන්ම මුම්බායි හි අටල් සේතු පාලම සහ නවී මුම්බායි ගුවන්තොටුපළ යන ස්ථානවල ඔවුන් සංචාරය කළහ. මීට අමතරව සූර්ය බලශක්ති සංස්ථාව සහ ඉන්දීය කර්මාන්ත සම්මේලනය සමඟ ද තාක්ෂණික සහ ප්‍රතිපත්තිමය සාකච්ඡා පවත්වන ලදී.
මෙම සංචාරය තුළින් ලබාගත් දැනුම සහ අත්දැකීම් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ ආයතනික ධාරිතාව ඉහළ නැංවීමටත්, තිරසර නාගරික සංවර්ධනයක් සඳහා අවශ්‍ය නිවැරදි භාවිතයන් මෙරටට හඳුන්වා දීමටත් මහෝපකාරී වනු ඇත.














