ගෝලීය දේශගුණික විපර්යාසයන් හමුවේ කෘෂිකර්මාන්තයට එල්ල වන අභියෝග ජය ගැනීම සඳහා නව වී ප්‍රභේද හඳුන්වා දීමට පිලිපීනය ශ්‍රී ලංකාවට සිය සහය පළ කර තිබේ. අධික උෂ්ණත්වය, නියඟය සහ ලවණතාව වැනි දේශගුණික බලපෑම්වලට සාර්ථකව ඔරොත්තු දිය හැකි උසස් වී ප්‍රභේද මෙරට වගා කටයුතු සඳහා හඳුන්වා දීමට මෙහිදී එකඟතාව පළ වී ඇත. මෙම සහයෝගීතාව හරහා ශ්‍රී ලංකාවේ වී වගාවේ අස්වැන්න ඉහළ නැංවීමට මෙන්ම ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ද සුවිශේෂී පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලොව ප්‍රමුඛතම සහල් පර්යේෂණ ආයතනයක් පිහිටා ඇති පිලිපීනය, කෘෂිකාර්මික තාක්ෂණය සහ බීජ පර්යේෂණ සම්බන්ධයෙන් ඉහළ ප්‍රමිතියක් සහිත රටකි. මෙම එකඟතාව යටතේ මෙරට පසට සහ දේශගුණයට වඩාත් ගැලපෙන පරිදි වැඩි දියුණු කළ වී ප්‍රභේද සම්බන්ධ දැනුම සහ තාක්ෂණය මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙත හුවමාරු වනු ඇත. දේශගුණික විපර්යාස හේතුවෙන් අස්වනු පාලුවීමේ තර්ජනයට මුහුණ දී සිටින මෙරට ගොවි ජනතාවට මෙම නව වී ප්‍රභේද හඳුන්වා දීම දීර්ඝ කාලීන ස්ථාවර විසඳුමක් වනු ඇති බව කෘෂි විශේෂඥයෝ පෙන්වා දෙති.














