මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි කිරි ගොවිපළ 520ක් මෙම වර්ෂය (2026) තුළ සංවර්ධනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. සත්ව සංවර්ධන උපදේශක ආර්.එන්.පී. විමලසේන මහත්මිය සඳහන් කරන පරිදි, මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ගොවිපළවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ දේශීය කිරි ධාරිතාව වැඩිකර පාරිභෝගික ජනතාවගේ කිරි අවශ්‍යතාව සපුරාලීමයි.
මධ්‍යම පළාත් කාර්යාලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ දෛනිකව කිරි ලීටර් 20ක් දක්වා ලබාගත හැකි ගොවිපළ 300ක් ද, ලීටර් 20 සිට 40 දක්වා ලබාගත හැකි ගොවිපළ 96ක් ද සංවර්ධනය කෙරේ. මීට අමතරව දිනකට ලීටර් 100කට වඩා කිරි නිෂ්පාදනය කරන මහා පරිමාණ ගොවිපළ 28ක් ද මෙයට ඇතුළත් වේ. කිරි පට්ටි ආශ්රිත රෝග හඳුනා ගැනීම, ජනන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ප්‍රමිතිය සුරැකීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ද මෙම ගොවිපළවල් වෙත ලබා දීමට නියමිතය. පවතින උණුසුම් කාලගුණය හමුවේ කිරි නිෂ්පාදනය පහත වැටීම වැළැක්වීමට ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ.













