ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඉරාන නෞකාවකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීතියට අනුකූලව කටයුතු කරන බවත්, මෙම ගැටුමේදී කිසිදු පාර්ශ්වයකට සහාය දීමට රජය අදහස් නොකරන බවත් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරයි. නවදිල්ලියේ පැවැත්වෙන ‘රයිසිනා සංවාදය 2026’ (Raisina Dialogue 2026) සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඉරාන නාවිකයන් යළි පිටුවහල් නොකරන ලෙස ඇමෙරිකාවෙන් එල්ල වන බලපෑම් පිළිබඳව මාධ්‍ය නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) සහ මානුෂීය සලකා බැලීම් මත පදනම්ව රජය සියලු පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. “ඉන්දියන් සාගරයේ අනාගතය” මැයෙන් පැවැති සැසිවාරයේදී අදහස් දැක්වූ හේරත් මහතා, කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කලාපීය සහයෝගීතාවයේ ඇති වැදගත්කම පෙන්වා දුන්නේය. විශේෂයෙන් ඉන්දියන් සාගර කලාපීය සංගමයේ (IORA) සභාපතිත්වය දරන ඉන්දියාව සතු මානව සහ භෞතික සම්පත් ප්‍රයෝජනයට ගනිමින් කලාපීය වැඩපිළිවෙළවල් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව පූර්ණ සහාය දෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














